අපට ආදරය කළ මිනිසුන්ට අපි ලබා දුන්නේ ඉතිරි වූ කාලයද? - By Fathima Jerusha Mohamed Irzam
Written By: Fathima jerusha mohamed irzam
Category: Essay
Competition: Global Poetry and Creative Writing Competition 2026
Fathima Jerusha Mohamed Irzam presents an evocative essay titled "අපට ආදරය කළ මිනිසුන්ට අපි ලබා දුන්නේ ඉතිරි වූ කාලයද?" in the Essay category of the Global Poetry and Creative Writing Competition 2026. Her reflective piece delves into the profound theme of time, love, and the moments we choose to share with those we hold dear. Through her narrative, she invites readers to contemplate the value of time and the importance of prioritizing relationships over daily routines.
About the Work
Fathima's essay is a heartfelt exploration of the intricacies of human relationships, underscoring the delicate balance between time and love. The mood is contemplative, urging introspection on how we allocate our time to loved ones. Her literary style is poignant and direct, conveying a powerful message about the irreplaceable value of shared moments. The imagery of time slipping away serves as a poignant reminder of life's transient nature.
Essay
Original Submission by Fathima jerusha mohamed irzam
අපට ආදරය කළ මිනිසුන්ට අපි ලබා දුන්නේ ඉතිරි වූ කාලයද?
මිනිසාගේ ජීවිතය තුළ මිල කළ නොහැකි බොහෝ දේ තිබේ. මුදලින් මිලදී ගත හැකි දේවල් මෙන්ම, මුදලින් කිසිදා ලබාගත නොහැකි දේවල් ද ඒ අතර වේ. එහෙත් පුදුමයට කරුණ නම්, අපට ලබාගත නොහැකි දේවල් බොහෝවිට අප සතුව තිබෙන කාලයේදී ඒවායේ වටිනාකම හඳුනා නොගැනීමයි. කාලය ද එවැනිම වූ අරුම පුදුම සම්පතකි. එය කිසිවකු වෙනුවෙන් නතර නොවේ. කිසිවකුගේ කඳුළක් දැක ආපසු හැරී නොඑයි. කිසිවකුගේ පසුතැවීමක් අසා ගෙවී ගිය මොහොතක් නැවත තිළිණ නොකරයි.
අපි හැමෝම අනාගතයක් ගොඩනඟන්නට වෙහෙසෙමු. හෙට දවසේ වඩා හොඳ ජීවිතයක් උදෙසා අද දවස කැප කරමු. අපට ආදරය කරන මිනිසුන් වෙනුවෙන් යමක් කරන්නට සිතමින් ජීවිතය පුරා දුවන්නෙමු. එහෙත් ඒ දිවීම අතරතුර අපෙන් නිහඬව ගිලිහී යන්නේ කුමක්ද? අප වෙනුවෙන් බලා සිටින මිනිසුන් සමඟ ගත කළ හැකි වටිනාම මොහොත නොවේද?
අපට ආදරය කරන මිනිසුන් අපෙන් ඉල්ලන්නේ සෑම විටම විශාල දේවල් නොවේ. සමහරවිට ඔවුන්ට අවශ්ය වන්නේ අපේ කටහඬ ඇසීමට විනාඩි කිහිපයක් පමණි. තමන් කියන කුඩා කතාවක් අප උනන්දුවෙන් අසා සිටිනවා දැකීම පමණි. තමන්ගේ දවස ගැන විමසන සරල ප්රශ්නයක් පමණි. එහෙත් අපේ ජීවිතවල වැඩකටයුතු වැඩි වන විට, මේ පුංචි ඉල්ලීම් පවා අපට විශාල බරක් සේ දැනෙන්නට පටන් ගනී.
"දැන් නම් වෙලාවක් නැහැ."
"පස්සේ කතා කරමු."
"හෙට බලමු."
මේ වචන කෙතරම් සාමාන්යද? එහෙත් මේ වචනවලින් කල් දමන්නේ ඇතැම්විට දුරකථන ඇමතුමක් පමණක් නොවේ. අපට ආදරය කරන කෙනෙකු සමඟ ගත කිරීමට තිබූ අවස්ථාවක් ද විය හැකිය.
අපි බොහෝවිට සිතන්නේ ආදරය යනු යමෙකු වෙනුවෙන් විශාල කැපකිරීමක් කිරීම බවයි. නමුත් ආදරයේ සැබෑ අරුත සැඟවී ඇත්තේ ඇතැම්විට කිසිවකු නොදකින ඉතාමත් කුඩා ක්රියාවන් තුළය. වෙහෙසට පත් මවකගේ කතාවට සවන් දීම, වයසට යන පියෙකු සමඟ මොහොතක් නිදහසේ කතා කිරීම, තමන්ගේ දුක සඟවාගෙන සිටින මිතුරෙකුගේ වෙනස හඳුනාගැනීම වැනි සරල දේවල් තුළය.
නමුත් අපි මේ දේවල්වල වටිනාකම හඳුනාගන්නේ ඒවා අපට සදහටම අහිමි වූ පසුව පමණක් නම්, එය අපේ ජීවිතයේ ඇති විශාලතම අවාසනාව නොවේද?
එක් කියමනක් ඇත.ඔබ මීට පෙර අසා ඇත් දැයි මා නොදනිමි.."සමහර අත්දැකීම් සහ කැපවීම් නව පුද්ගලයෙකු බිහි කරයි"....
ඔව් මා ද එවැනි පුද්ගලයෙකි...මීට මාස කිහිපයකට පෙර හදිසි අනතුරකින් මගේ මව මට අහිමි වුණා....
මා ඇය සමග අවසන් වරට ඉතා කෝපයෙන් කතා කළා...ඇයගේ වචනවලට සවන් නොදුන්නා..දුරකථනය විසන්ධි කරා..
පැය කිහිපයකින් මට පැය කිහිපයකින් හදවත නතර වන පුවතක් ලැබුණි!..ඔව් එය ඇගේ අභාවය පිළිබඳ පුවතයි.එදා මගේ ලෝකය මොහොතකට නතර විය. ඇය සමඟ තවත් එක් වරක් කතා කිරීමට, මා පැවසූ වචන ආපසු ලබා ගැනීමට, ඇයගේ හඬ තවත් එක් වරක් ඇසීමට මට අවශ්ය විය. එහෙත් ඒ කිසිවක් සඳහා මට නැවත අවස්ථාවක් ලැබුණේ නැත. මා හෙට දවසට කල් දැමූ කතාබහ, මා නොසලකා හැරිය ඇගේ වචන, මා කෝපයෙන් විසන්ධි කළ දුරකථන ඇමතුම අදටත් මගේ මතකයේ නිහඬව දෝංකාර දෙයි.
අදටත් මට සිතෙන්නේ, එදා මා ඇයට තවත් විනාඩි කිහිපයක් සවන් දුන්නා නම් කුමක් සිදුවේද යන්නයි. මගේ කෝපය මොහොතකට පසෙක තබා ඇය සමඟ ආදරයෙන් කතා කළා නම් කුමක් සිදුවේද යන්නයි. එහෙත් ජීවිතය අපට සෑම ප්රශ්නයකටම පිළිතුරු ලබා දෙන්නේ නැත. ඇතැම් ප්රශ්නවලට පිළිතුරු සොයමින් අපට ජීවිත කාලයම ගත කිරීමට සිදු වේ.
මගේ මව මට අහිමි වූයේ ඇයගේ ජීවිතය පමණක් නොවේ. ඇය සමඟ ගත කිරීමට තිබූ අනාගතය ද මට අහිමි විය. ඇයට මා ගැන කියන්නට තිබූ දේවල්, මට ඇයගෙන් අසන්නට තිබූ ප්රශ්න, ඇය සමඟ සිනාසෙන්නට තිබූ මොහොතවල් සියල්ලම දැන් මතකයන් පමණි. එදා සාමාන්ය දෙයක් ලෙස මා සිතූ ඇයගේ හඬ අද මට මිල කළ නොහැකි වස්තුවකි. එදා මා නොසලකා හැරිය ඇයගේ වචන අද නැවත අසන්නට මට මුළු ලෝකයම දුන්නත් නොහැකිය.
එදා මට අහිමි වූයේ මවකි. එහෙත් ඒ අහිමි වීමත් සමඟ මගේ සිත තුළ අලුත් මිනිසෙකු උපන්නේය. ආදරය කරන මිනිසුන් වෙනුවෙන් කාලය වෙන් කිරීමේ වටිනාකම, කෝපයට වඩා ආදරය උසස් බව, සමාව ඉල්ලීමටත් ආදරය ප්රකාශ කිරීමටත් හෙට දවස තෙක් බලා සිටිය යුතු නැති බව මම ඉගෙන ගත්තෙමි.
අපි බොහෝවිට ආදරය කරන මිනිසුන්ට ලබා දෙන්නේ අපගේ වැඩකටයුතු අවසන් වූ පසු ඉතිරි වන කාලයයි. අපගේ වෙහෙස නිම වූ පසු, අපගේ වගකීම් අවසන් වූ පසු, අපට පහසු වේලාවක ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට අපි උත්සාහ කරමු. නමුත් ජීවිතය අපට සහතික කරන්නේ අපට තවත් කොපමණ කාලයක් ඉතිරිව තිබේද යන්න නොවේ. එබැවින් ආදරය කරන මිනිසුන් වෙනුවෙන් වෙන් කළ යුත්තේ ඉතිරි වන කාලය නොව, අප සතුව ඇති කාලයයි.
අම්මා අද මා ළඟ නැත. ඇයට නැවත ඇමතුමක් දෙන්නට, ඇයගේ අත අල්ලාගන්නට, ඇයගේ හඬ අසන්නට මට නොහැකිය. එහෙත් ඇය මට ඉගැන්වූ ජීවිත පාඩම මගේ හදවත තුළ සදාකාලිකව ජීවත් වනු ඇත. ඇය වෙනුවෙන් කළ නොහැකි වූ බොහෝ දේ, අද මා ළඟ සිටින ආදරණීය මිනිසුන් වෙනුවෙන් හෝ කළ හැකි බව මම මටම කියා ගනිමි. අතීතය වෙනස් කළ නොහැකි වුවත්, එයින් ඉගෙනගෙන අද දවස වෙනස් කරගැනීමට අපට හැකිය.
අවසානයේ මා ඔබෙන් අසන්නේ එකම එක ප්රශ්නයකි.
අපට ආදරය කළ මිනිසුන්ට අපි ලබා දුන්නේ අපගේ කාලයෙන් ඉතිරි වූ කොටස පමණක්ද? නැතහොත් ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් එක් කළ හැකි අපගේ හොඳම මොහොතවල් ද ඔවුන් වෙනුවෙන් කැප කළෙමුද?
ඔබේ මව තවමත් ඔබට කතා කරනවා නම්, ඇයගේ හඬට සවන් දෙන්න. ඔබේ පියා තවමත් ඔබ එනතුරු බලා සිටිනවා නම්, ඔහු ළඟ මොහොතක් නතර වන්න. ඔබට ආදරය කරන කෙනෙකු ඔබ සමඟ කතා කිරීමට උත්සාහ කරනවා නම්, ඔහුට හෝ ඇයට ඔබේ කාලය දෙන්න. මන්ද, අද අපට සාමාන්ය දෙයක් ලෙස පෙනෙන ඒ පුංචි මොහොත, හෙට දවසේ අපට නැවත ලබාගත නොහැකි වටිනාම මතකය බවට පත්විය හැකිය.
මතක තබා ගන්න, අපට ආදරය කළ මිනිසුන් අහිමි වූ පසු ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කිරීමෙන් ඵලක් නැත. ඔවුන් අප සමඟ සිටින අද දවසේ, ඔවුන්ට ආදරය දැනෙන්නට සලස්වන්න. මන්ද, ජීවිතයේ අවසානයේ අප පසුතැවෙන්නේ අපට කිරීමට නොහැකි වූ දේවල් ගැන පමණක් නොව, අපට කළ හැකිව තිබියදීත් නොකළ දේවල් ගැනද වන බැවිනි.
කාලය ගෙවී යනු ඇත. දින, මාස, අවුරුදු අපටත් නොදැනීම අවසන් වනු ඇත. එහෙත් අප ආදරය කළ මිනිසුන් වෙනුවෙන් කැප කළ මොහොතවල්, අප ඔවුන්ට දුන් ආදරය සහ අප ඔවුන්ගේ හදවත් තුළ ඉතිරි කළ මතකයන් කිසිදාක නිෂ්ඵල නොවනු ඇත.
එබැවින්, අපට ආදරය කළ මිනිසුන්ට අපගේ ජීවිතයෙන් ඉතිරි වූ කාලය නොව, අපගේ හදවතේ තිබෙන ආදරයත් සමඟ අපට හිමි අද දවස ලබා දෙමු. මන්ද, කාලය නැවත ලබාගත නොහැකි වුවත්, එය ගත කරන ආකාරය තෝරාගැනීමේ අවස්ථාව තවමත් අප සතුව තිබෙන බැවිනි.....
About the Competition
The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar is an esteemed event celebrating the art of storytelling. This platform offers writers worldwide an opportunity to showcase their creativity, explore diverse themes, and connect with a global audience. Participants engage in a dynamic exchange of ideas, contributing to the richness of contemporary literature.
We extend our heartfelt thanks to Fathima Jerusha Mohamed Irzam for her participation in the Global Poetry and Creative Writing Competition 2026. Her essay, "අපට ආදරය කළ මිනිසුන්ට අපි ලබා දුන්නේ ඉතිරි වූ කාලයද?" is a moving tribute to the essence of time and love. We appreciate her thoughtful reflection on these universal themes and look forward to seeing more of her work in the future.
About Hashtag Kalakar
Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.


Comments