top of page

Entanglement - "පටලැවිල්ල" - By Chathura Najikanga

1 hour ago
18 min read

Written By: Chathura Najikanga

Category: Mystery & Thriller – Crime, suspense, detective stories

Competition: Global Poetry and Creative Writing Competition 2026

We are delighted to feature Chathura Najikanga's "Entanglement - 'පටලැවිල්ල'" in the Mystery & Thriller category of the Global Poetry and Creative Writing Competition 2026. This competition is a prestigious platform that celebrates creativity and literary excellence. Chathura's work draws the reader into a world of suspense and intrigue, showcasing the author's ability to weave a complex narrative that keeps audiences on the edge of their seats.

About the Work

"Entanglement - 'පටලැවිල්ල'" is a masterful tale of crime and suspense, where the line between truth and deception blurs. The narrative is rich with vivid imagery and detailed characterizations, creating a gripping atmosphere that envelops the reader. The story unfolds with a detective's investigation into a mysterious murder, revealing layers of secrets and unexpected twists that challenge perceptions and provoke thought.

Entanglement - "පටලැවිල්ල"

Original Submission by Chathura Najikanga

පැටලිල්ල

එදා රෑ 11.47ට විතර, පොලිස් ස්ථානයට ඇතුළු වූයේ අවුරුදු තිස් ගණනක් පමණ වූ, ප්‍රියමනාප පෙනුමැති පිරිමි පුද්ගලයෙකි.

ඔහු තමන්ගේ නම ආදිත්‍ය යැයි හඳුන්වා දුන්නේය.

අවුරුදු ගණනාවක් ගෙවී ගියත්, ඒ පුද්ගලයාව මට තවමත් අමතක කරගන්න බැරි විය. මට විතරක් නොවෙයි. එදා අපිත් සමඟ පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි සෑම නිලධාරියෙකුටම, එහි සිටි එකම කාන්තා නිලධාරිනියටත් ඔහු සුවිශේෂී පුද්ගලයෙකු විය.

ඇත්තටම කිව්වොත්, ඔහු එතරම්ම විශේෂ පුද්ගලයෙකි.

ඔහු ඇඳගෙන සිටියේ ලා කොළ පැහැති, ලිනන් වර්ගයේ සුවපහසු රෙද්දකින් මැසූ සුඛෝපභෝගී කමිසයකි.

නමුත් ඒ කමිසයේ වම් අත...ලේ වලින් පිංතාරූ වී තිබුණි.

තැනින් තැන පතිත වී තිබූ සැලකිය යුතු ලේ බිඳු නිසා, ඔහුගේ කමිසය බතික් රටාවකින් සැරසුණු කමිසයක් මෙන් පෙනෙන්නට තිබිණි.

ඔහු කෙළින්ම පැමිණියේ මා වාඩි වී සිටි මේසය වෙතට.

“සර්... මම මිනිහෙක් මැරෙනවා දැක්කා.”

මම ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෙමි.

ඒ මොහොතේම මට දැනුණේ, මුළු පොලිස් ස්ථානයම එකවර නිහඬ වූවාක් මෙනි. එතෙක් ඇසුණු කතාබහ, කඩදාසි පෙරළන හඬ, පුටු ඇදෙන ශබ්ද..සියල්ලම හදිසියේ නතර වී තිබුණි.

“කොහේදිද දැක්කේ?”

මම පෙරළා ප්‍රශ්න කළෙමි.

“අංක 17, මල්වත්ත පාර.”

“කවදාද?” මම නැවතත් කලබලයෙන්, ඉතා ඉක්මනින් ඒ ගැන විමසුවෙමි.

ඔහු තත්පර කිහිපයක් නිහඬව සිටියේය.

නමුත් අපි හැමෝම ඒ තත්පර කිහිපය ගත කළේ පුදුමයෙන් ගල්ගැසී බලා සිටිමිනි.

ඇත්තටම, ඒ රාත්‍රියේ ඒ මොහොතේ, ඔහු කියූ කතාව අපි හැමෝවම එකවරම නිර්වින්දනය කළාක් මෙන් විය.

“අද රෑ.” ඔහු අවසානයේ නිහඬතාවය බිඳිමින් පිළිතුරු දුන්නේය.

“කීයටද?” මම එසේ ප්‍රශ්න කළත්, ඒ වන විට මගේ දෑස් ඔහුගේ දෑස්වලින් ඉවතට ගියේ නැත.

ඇසිපිය නොහෙලා මම බලා සිටියේ ඔහුගේ දෑස් දෙසම පමණි.

“11.20ට.” ඔහු ඉතා සංයමයෙන්, කිසිදු කලබලයකින් තොරව පිළිතුරු දුන්නේය. ඔහුගේ කටහඬේ බියක්, වරදකාරී හැඟීමක් තිබුණේ නැත. ඒ තරම් සාමාන්‍ය ලෙස, ඒ මරණය ගැන කතා කිරීමට ඔහුට හැකි විය. ඒක තමයි මට ඔහු ගැන දැනෙන්න පටන් ගත් පළමු අමුත්ත.

පැය භාගයකට පමණ පසු, මා ඇතුළුව අපගේ විශේෂ පොලිස් කණ්ඩායමක්, ආදිත්‍ය ද කැටුව “අංක 17, මල්වත්ත පාර” යන ලිපිනය බලා පිටත් වුණෙමු.

අපරාධය සිදු වූ බව කියූ එම නිවසට අප පැමිණෙන විට, මුලින්ම අපගේ අවධානයට ලක් වූයේ විවෘතව තිබූ ඉදිරිපස ප්‍රධාන දොරය. නිවස ඇතුළත විදුලි පහන් දෙකක් දැල්වෙමින් තිබිණි. රූපවාහිනී යන්ත්‍රයද තවමත් ක්‍රියාත්මක වෙමින් තිබුණි.

ඒ සියල්ලම දුටු මොහොතේ, අපට දැනුණේ නිවසේ කිසිවක් සිදු වී නොමැති ආකාරයකි.

නමුත්...

සාලයට ඇතුළු වූ අපගේ කණ්ඩායමට දක්නට ලැබුණේ, වයස අවුරුදු පනහකට ආසන්න, ශක්තිමත් මැදිවියේ පිරිමියෙකු බිම වැටී සිටින අයුරුය.

ඔහුගේ සිරුර අසල තිබූ රුධිරයත්, තුවාලයේ ස්වභාවයත් අනුව, පිටුපසින් පැමිණි පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද මාරාන්තික පිහි පහරකින් මෙම මරණය සිදුව ඇති බවට මුලික වශයෙන් උපකල්පනය කළ හැකි විය.

පසුව හඳුනාගත් පරිදි, මියගොස් සිටියේ ඩේමියන් සේනානායක නම් පුද්ගලයෙකි.

ඔහු වෘත්තියෙන් මනෝ වෛද්‍යවරයෙකි.

මගේ මොළයට සමනල ගැට වැටෙන්න පටන් ගත්තේ එතැන් සිටය.

අපි එකිනෙකාගේ මුහුණු දෙස බැලුවේ, අපි හැමෝටම විශාල ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළ ආදිත්‍යගේ ප්‍රකාශය ගැන සිතමිනි.

ඒ මක්නිසාද යත්... පොලිසියට පැමිණි මේ සාක්ෂිකාරයා ඩේමියන්ගේ මරණය ගැන කියා තිබුණේ, ඩේමියන් මිය යාමට විනාඩි විසිහතකට පමණ පෙරය.

“ඔයාගේ නම මොකක්ද කිව්වේ?”

“ආදිත්‍ය.”

“ඔයා ඩේමියන්ව දන්නවද?”

“නෑ.”

“එහෙනම් කොහොමද ඔයා ඒ ගෙදර හිටියේ? මේ මරණය ගැන දන්නේ කොහොමද?”

“මම ගේ ඇතුළට ගියේ නැහැ.”

“එහෙනම් මිනීමැරුම දැක්කේ කොහොමද?”

මගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර ආදිත්‍ය මදක් ව්‍යාකූල වූ බවක් පෙනෙන්නට තිබිණි.

ඔහුගේ දෑස් නතර වී තිබුණේ ජනේලය මතය.

එකවරම...“ජනේලයෙන්.” ඔහු එසේ පැවසීය.

මගේ කණිෂ්ඨ පොලිස් නිලධාරියා නැවතත් ඔහුගේ කමිසය දෙස බැලීය.

“එතකොට මේ ලේ?” ඔහුගේ කටහඬේ තිබුණේ දැඩි බවකි.

“කාගෙද මේ ලේ?”

ආදිත්‍ය තම කමිසය දිහා කිහිප වරක් ඉහළ පහළ බැලුවේය. ඉන්පසු ඉතා සන්සුන්ව “වෙන කාගෙවත් නෙමෙයි... මේ ලේ එයාගේ.”පැවසීය,

“කොහොමද?” මම කේන්තියෙන් ඔහු දෙස බැලුවෙමි.

“ඔයා ජනේලයකින් මිනීමැරුම දැක්කා නම්, ඔයාගේ කමිසෙට මේ ලේ ගෑවුණේ කොහොමද?” මගේ හඬ තරමක් උස් විය.

“මේක මහා විහිළු කතාවක්නේ! තමුසේ හිතුවද අපි චීන්නු කියලා?”

ආදිත්‍ය කිසිවක් පැවසුවේ නැත. ඒ වෙනුවට… ඔහු මගේ දෑස් දෙස එක එල්ලේ බලාගෙන සිටියේය.

සාමාන්‍යයෙන් වැරදිකරුවෙකු තුළ දකින්නට නොලැබෙන, පුදුමසහගත විශ්වසනීය පෞරුෂයක් ඔහු තුළ තිබූ බව ඉඳුරාම කිව යුතුය.

ඒ විශ්වාසය ඇත්තක්ද? නැත්නම්… ඉතා හොඳින් කළ රඟපෑමක්ද? ඒ ගැන දැන සිටියේ ඔහු පමණි.

ගෙවී යමින් තිබුණේ, මට කිසිසේත්ම සිතාගත නොහැකි කතාවක අනපේක්ෂිත විමර්ශනයක් බව මම ඒ වන විට දැන සිටියේ නැත.

ගෙවී ගිය ඒ පැය දෙක ඇතුළත, සම්පූර්ණ පරීක්ෂණයම එකවරම වෙනස් වී තිබිණි.

හරියට… කාලගුණ දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකියක් වගේ මොහොතකට පෙර තිබූ තත්ත්වය ඊළඟ මොහොතේ සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණි.

පරීක්ෂකවරුන්ට ඩේමියන්ගේ ජංගම දුරකථනය, සාලයේ තිබූ පුටුවක් අසල තිබී හමුවිය.

ඒ දුරකථනය හමුවීමත් සමඟම, විමර්ශනය වෙනමම මානයකට හැරුණි.

ඇත්තටම...මම පුදුම වුණෙමි. මගේ රාජකාරි ජීවිතයේදී, මේ තරම් පැටලැවිල්ලකට මීට පෙර මා මුහුණ දී තිබුණේ නැත.

ඩේමියන්ගේ දුරකථනයේ තිබූ අවසන් ඇමතුම තිබුණේ “ආදිත්‍ය”ගේ අංකයෙනි.

ඒ මොහොතේ සිට මට ඉතා පැහැදිලිව වැටහෙන්නට පටන් ගත්තේ, ආදිත්‍ය අප ඉදිරියේ තබා තිබුණේ සම්පූර්ණ කතාවෙන් ඉතා විශාල හිස්තැන් කිහිපයක් බවය.

ඔහු කියන සෑම වචනයක්ම ඇත්තක් විය හැකිය.

නැත්නම්...ඒ සෑම වචනයක්ම ඉතා සූක්ෂ්ම ලෙස ගොඩනඟන ලද බොරුවක් විය හැකිය.

සිංහයෙකුගේ පෞරුෂයත්, නරියෙකුගේ කපටි බුද්ධියත් ඇති පුද්ගලයෙකු සමඟ ගනුදෙනු කිරීම එක්තරා ආකාරයක යුද්ධයක් බව මම දැන සිටියෙමි.

ඒ වන විට අප ඉදිරියේ සිටියේ සාමාන්‍ය සාක්ෂිකරුවෙකු නොවන බව මට දැනෙමින් තිබුණි.

අධිකරණ වෛද්‍ය කණ්ඩායම සමඟ එක්ව ඇඟිලි සලකුණු සහ අනෙකුත් සාක්ෂි එකතු කර ගැනීමට, මගේ නිලධාරීහු වහාම යුහුසුලුව කටයුතු කරන්නට වූහ.

ඒත්...අපි සොයමින් සිටියේ මිනීමරුවාගේ ඇඟිලි සලකුණු පමණක් නොවේ.

අපි සොයමින් සිටියේ...ආදිත්‍ය අපෙන් සඟවාගෙන සිටි කතාවේ ඉතිරි කොටසයි.

විමර්ශනය තව තවත් නූල් බෝලයක් මෙන් පැටලෙමින් තිබියදී, එවර මතු වූයේ ඇඟිලි සලකුණුවල ප්‍රතිඵලයයි.

අපරාධ ස්ථානය විධිමත්ව පරීක්ෂා කිරීමේදී, ඩේමියන්ගේ නිවසේ අතහැර දමා තිබූ ජනේලයකින් ලබාගත් ඇඟිලි සලකුණු කිහිපයක් අපගේ පරීක්ෂාවට ලක් විය.

ඒවා...ආදිත්‍යගේ ඇඟිලි සලකුණුවලට සියයට සියයක්ම ගැළපුණි. එය විමර්ශනය තුළ මිනීමරුවා පිළිබඳ පළමු පැහැදිලි ඉඟියක් ලබා දුන්නේය.

නමුත්...

ආදිත්‍යගේ හැසිරීමත්, ඔහු තවමත් නොසැලී සිටි ස්ථාවරයත් පිළිබඳව මගේ සිත තුළ තිබූ පුදුමය නම් තවමත් පහව ගොස් තිබුණේ නැත.

අධිකරණ වෛද්‍ය කණ්ඩායම තවත් පියවර කිහිපයක් ඉදිරියට යද්දී, ආදිත්‍ය වැරදිකරු බවට පත් කළ හැකි තවත් සාක්ෂි කිහිපයක්ම අපට හමුවන්නට විය.

ආදිත්‍ය පැළඳ සිටියේ විදේශ රටක නිෂ්පාදිත සපත්තු යුවළකි. එම සපත්තු වල පතුල් සලකුණු, ඩේමියන්ගේ නිවස පිහිටි වත්තේ තිබූ අඩි සලකුණුවලට බොහෝ සෙයින් සමාන විය.

ඒ මොහොතේ මගේ සිතට නැඟුණු එකම බිය වූයේ, එදා පැවති වැසිබර කාලගුණය නිසා අපරාධ ස්ථානයේ තිබූ සාක්ෂි වැසි ජලයෙන් විනාශ වී, ඒවා නිසි පරිදි එකතු කරගැනීමට නොහැකි වේවිද යන්නය.

නමුත්...

මගේ වාසනාවට මෙන්, අප සොයමින් සිටි කිසිදු සාක්ෂියක් වැසි ජලයෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබුණේ නැත.

එය මට සැනසිල්ලක් විය.

ඒත්…

සාක්ෂි එකින් එක ආදිත්‍ය දෙසට ඇඟිල්ල දිගු කරමින් තිබුණි.

ඒ සියල්ල තිබියදීත්...ඔහුගේ මුහුණේ නම් කිසිදු බියක සේයාවක්වත් තිබුණේ නැත.

ඒ මොහොතේ ඉඳන්,මට ආදිත්‍යව පෙනෙන්නට ගත්තේ මනෝ ව්‍යාධියකින් පෙළෙන මිනීමරුවෙකු ලෙසටය.ඔහුගේ ඒ නිශ්ශබ්දතාවය, මගේ කේන්තියත් එක්ක මට නොදැනීම ප්‍රතික්‍රියා විය.

මොකද, මීට වසර කිහිපයකට පෙර මා හලාවත කොට්ඨාශයේ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ සමයේ, මුළු හලාවතම සසල කළ ඒ මනෝ ව්‍යාධී මිනීමරුවා පිළිබඳ මතකයන් එකින් එක මගේ සිත තුළ දර්ශනය වන්නට පටන් ගත් බැවිනි...

මා ඇතුළු මගේ නිලධාරීන්ගේ නිගමනය දැන් පැහැදිලිය. සියයට සියයක්ම මේ මිනීමැරුම සිදු කර ඇත්තේ ආදිත්‍ය බව අපට දැන් පැහැදිලිය.

සැකයේ වාසිය අපේ කණ්ඩායම සතුව තිබූ නිසා, අනවශ්‍ය කලබලයකට යාමට තරම් හදිසියක්ද අපට නොවීය.

නමුත්...

තවමත් ඔහුගේ පෞරුෂත්වය බිඳී ගොස් නැත. කිසිදු කලබලයක සලකුණක් ඔහුගේ මුහුණේ නොවීය.

කිසිදු බියක් නැත.කිසිදු පසුතැවීමක් නැත.

ඒ මොහොතේ මගේ සිතට ආ එකම සිතුවිල්ල වූයේ, ‘මූ මහා නසරාණි කපටියෙක්...!’ යන්න පමණි.

නමුත් ආදිත්‍ය එකම දෙයක් ගැන සැරින් සැරේ කියාගෙන සිටියේය.

කොටින්ම කිව්වොත්, මගේ කේන්තිය මගේම පාලනයෙන් ගිලිහෙන්නට පටන් ගත්තේ එතැන් සිටය.

“මම එයාව මැරුවේ නැහැ...”

“මම එයාව මැරුවේ නැහැ...”

එකම වාක්‍යය නැවත නැවතත් කියමින්, මුල් වතාවට ඔහු කලබල වන්නට පටන් ගත්තේය. මම ඔහුට තවත් කලබල වන්නට ඉඩ දුන්නෙමි.

ඒ අතරේ, මගේ පොලිස් බුද්ධිය උපරිමයෙන් යොදා ගනිමින් ඔහුව මානසිකව අස්ථාවර කිරීමටත්, කුපිත කරවීමටත් සැලසුම් කළෙමි.

“ඒ කියන්නේ තමුසේ නෙමෙයි කියලද අපිට දැන් කියන්නේ?” ඔහු කිසිවක් නොකියා මා දෙස බලා සිටියේය.

“එහෙනම් කවුද?” මම හඬ තවත් උස් කළෙමි.

“මේ මිනීමැරුම කළේ ආදිත්‍ය... තමුසේ!”

“මෙච්චර සාක්ෂි තියෙද්දිත් තවත් අපිට බොරු කියන්නද හදන්නේ?” මගේ වචන හමුවේ ඔහුගේ මුහුණේ තිබූ ස්ථාවරත්වය මඳින් මඳ බිඳෙන්නට විය.

“අපිව බබා කරන්න ලෑස්ති වෙන්න එපා...” මම මේසයට අත තබමින් ඉදිරියට නැඹුරු වුණෙමි.

“මේ වගේ වෙලාවට හැම එකාම කියන්නේ එකම දේ.”

“මම මුකුත් දන්නෑ...මම මුකුත් කළේ නෑ...මම මැරුවේ නෑ... අපිව බබ්බු කරන්න හදන්න එපා!” මම එකින් එක වචන බර කරමින් කීවෙමි.

ආදිත්‍යගේ තොල් සෙමින් සෙලවුණත්, කිසිදු වචනයක් පිට නොවීය. අවසානයේ ඔහු ටික වෙලාවක් නිහඬව සිටියේය.

ඒ නිහඬතාවය තුළ මොකක්දෝ දෙයක් තිබුණි.

බියක්ද?

පසුතැවීමක්ද?

නැත්නම්...

තවමත් අපට නොපෙනෙන සත්‍යයක්ද?

මම ඔහු දෙසම බලා සිටියෙමි.

“මේක මම නෙමෙයි කළේ...”ආදිත්‍යගේ හඬ වෙව්ලමින් තිබුණි.

“මේක කරපු කෙනාව මම කිව්වට, ඔයාලා විශ්වාස කරන්නෙත් නැහැ...”

ඒ වචන කිහිපයත් සමඟම, මට තත්පර ගණනක් ඇතුළත යක්ෂාවේශ විය.

“ඒ උඹ නෙමෙයි නම් කවුද මිනිහෝ?”මම ඔහුගේ හිසටත්, මුහුණටත් පහරවල් කිහිපයක් එල්ල කරමින් තර්ජනාත්මකව ඇසුවෙමි.

ආදිත්‍ය හිස පහළට කරගත්තේය. මොහොතක් නිහඬව සිටි ඔහු, අවසානයේ වචන කිහිපයක් මුමුණන්නට සැරසුණේය.

“ඒ වෙන කවුරුත් නෙමෙයි...” ඔහුගේ හඬ ඉතා පහත් විය. “ඇන්ජෙලා...”

මම තත්පර කිහිපයක් ඔහු දෙසම බලා සිටියෙමි.

ඇන්ජෙලා…ඩේමියන්ගේ බිරිඳ. වයස අවුරුදු හතළිස් දෙකකි. වෘත්තියෙන් පෞද්ගලික පාසලක ඉංග්‍රීසි ගුරුවරියකි. සිද්ධිය සිදු වූ මොහොතේ ඇය සිටියේ මුළුතැන්ගෙයි බව ඇයගේ මුල් ප්‍රකාශයේ සඳහන් වී තිබුණි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් නැවතත් කටඋත්තරයක් ලබා ගැනීමෙන් අනතුරුව, ඇය සිටි වියවුල් මානසික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පසුදින පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස අපි ඇයට දැනුම් දී තිබුණෙමු.

මේ අතර, මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහල වෙත යැවීමට මගේ කාර්ය මණ්ඩලය කටයුතු කළේය.

ඉතා වෙහෙසකාරී රාත්‍රියක් අවසන් කරමින්, නව දිනයේ හෝරා දෙකක්ද ගෙවී ගොස් තිබුණි. මතක හැටියට, මා නිවසට ගොස් නින්දට වැටුණේ අලුයම හතරට පමණය.

මා ඇයට දැනුම් දුන් පරිදි, පසුදින උදෑසන නවයට පමණ ඇන්ජෙලා මහත්මිය පොලිස් ස්ථානයට පැමිණියාය.

ඇය පැමිණ තිබුණේ ඇගේ සහෝදරයා වූ පිලිප් මහතා සමඟය.

ඇය පැමිණ විනාඩි හතළිහක්, හතළිස් පහක් පමණ ගත වූ පසු, මම නැවත පොලිස් ස්ථානයට පැමිණියෙමි.

එක්තරා අවස්ථාවක මාගේ ඉහළ නිලධාරියෙකු මට කියා තිබූ වචන කිහිපයක් මට සිහිපත් විය. “නරියෙකු මෙන් කපටි වෙන්නත්, කොටියෙකු මෙන් වේගවත් වෙන්නත් පොලිස් නිලධාරියෙකුට සහජ හැකියාවක් තියෙන්න ඕනේ.”එදා ඒ වචන මට හුදෙක් උපදෙසක් පමණක් විය.

නමුත් අද...ඒවායේ සැබෑ අරුත මට දැනෙමින් තිබුණි.

ඇන්ජෙලාගේ හැසිරීම දෙස මම හොඳින් නිරීක්ෂණය කළෙමි. මට දැනුණු පරිදි, ඇය පෙර දිනයට වඩා බොහෝ සෙයින් ව්‍යාකූල වී සිටියාය.

ඇගේ දෑස්...ඇගේ හඬ...ඇගේ අතපයවල නොසන්සුන් චලනයන්...මේ සියල්ල තුළ මට යම්කිසි අසාමාන්‍ය දෙයක් පෙනෙන්නට විය.

ආදිත්‍ය බොරුවක් කියනවාද? නැත්නම්...

ඊයේ රාත්‍රියේ අපි සොයාගත් සත්‍යය, අද වෙනත් කෙනෙකු වෙතට හැරෙන්නට පටන් ගෙන තිබුණාද?

දුටුවන් නැවත හැරී බලන තරම් සුන්දර ලලනා රූපයක් ඈ සතු විය. අපිළිවෙළට තිබූ දුඹුරු පැහැති කෙස් කළඹත්, ඇය හැඳ සිටි කළු පැහැති බ්ලවුසයත්, සුදු සායත් නිසා ඇය වඩාත් කැපී පෙනුණාය.

මා දුටු විගසම ඇය මා හට ආචාර කළාය. ඉන්පසු, රක්ත වර්ණයෙන් දිලිසුණු ඇගේ දිගු නියපොතු සැරින් සැරේ තදින් මිරිකමින්, මා සමඟ කතාබහේ යෙදෙන්නට වූවාය.

ඇය මානසිකව අස්ථාවර බව මට වැටහුණි. එහෙත් ඇගේ හැසිරීම පිළිබඳව මා තුළ තිබුණේ අතිශය සැක සහිත හැඟීමකි.

ඇගේ මුහුණේ එකදු කඳුළක්වත් නොවීය.කෝපයක් ද නැත. කොටින්ම... බියක්වත් නැත.

නිහඬතාවය බිඳිමින් ඈ පැවසූ දෙයින් මම තුෂ්ණිම්භූත වීමි.

“මගේ මහත්තයාට මේක වෙන්න තිබ්බ දෙයක්...” ඇය මොහොතකට නිහඬ වූවාය.

“මට තාමත් හිතාගන්න බෑ... මේ දේ සිද්ධ වුණේ ඇයි කියලා.”

ඇගේ දෑස් කිසිවකු සොයන්නාක් මෙන් වටපිට බැලුවේය.

“ඒත්... මම දන්නවා.”

“මොනවද ඔබ දන්නේ?” මම පෙරළා ප්‍රශ්න කළෙමි.

ඇය කිසිවක් නොපවසා ආදිත්‍ය දෙස හොරැහින් බැලුවාය.

“එයා...” ඇගේ ඇඟිල්ල ආදිත්‍ය දෙසට එල්ල විය.

ආදිත්‍ය හිස ඔසවා ඇය දෙස බැලීය.

“ඔයා මාව දන්නෙවත් නැහැ.” ඇන්ජෙලා සිනාසුණාය. ඒ සිනහව තුළ අමුතු සන්සුන් බවක් තිබුණි.

“මමත් ඔයාව දැකලවත් නෑ”

ඊළඟ මොහොතේම ඇගේ මුහුණේ තිබූ සිනහව අතුරුදන් විය.

“ඇයි මගේ මහත්තයට මේ දේ කළේ ඔයා?” ඇන්ජෙලා එකවරම ප්‍රකෝපකාරී වූවාය.

ආදිත්‍ය කිසිදු කලබලයකින් තොරව ඇය දෙස බලා සිටියේය.

“මම ඔයාව හොඳට දන්නවා, ඇන්ජෙලා.” ආදිත්‍ය පැවසුවේ එපමණකි.

ඊළඟට අපට හමුවූ තවත් වැදගත් සාක්ෂියක් වූයේ ඩේමියන්ගේ දිනපොතයි.

එහි අවසාන පිටුවේ සඳහන්ව තිබූ එක් වාක්‍යයක් නිසා, මගේ ඔළුව ඇතුළතින් කොන්දේසි විරහිතවම තවත් යුද්ධයක ආරම්භයක් සනිටුහන් විය.

එහි මෙසේ සටහන් වී තිබිණි.

“ඔහු මට ඇත්ත කියන්නේ නැහැ. ඒත් ඔහුට මාව මරන්න හේතුවක් තියෙනවා.”

ඊට යටින් තිබුණේ...

“ආදිත්‍ය”යනුවෙන් හදිසියේ ලියා අවසන් කළ සටහනකි.

දැන් නම් මේ කේස් එක සම්පූර්ණයි වගේ මට දැනෙන්නට විය. මුල සිටම මගේ සිතේ තිබූ ඒ නිගමනය නිවැරදි බවට තවත් ප්‍රබල සාක්ෂියක් ලැබී තිබුණි.

මම තනිවම මටම මුමුණා ගත්තෙමි.

ආදිත්‍ය ඩේමියන්ව දැනගෙන හිටියා.

ආදිත්‍ය ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී තිබුණා.

අපරාධය සිදු වූ ස්ථානයේ ආදිත්‍යගේ ඇඟිලි සලකුණු තිබුණා.

ඔහුගේ ඇඳුමේ ලේ පැල්ලම් තිබුණා.

හැම දෙයක්ම එකම දිශාවකට යොමු වෙමින් තිබුණි.

ඒත්...

මගේ සහායක විමර්ශන නිලධාරියා වූ විජේසේකරගේ හිතට එක්තරා දෙයක් ගැන සැනසීමක් තිබුණේ නැත. ඒ වෙන මොකක්වත් නොවෙයි…

මියගිය වෙලාව.

අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව, ඩේමියන්ගේ මරණය සිදුවී තිබුණේ රාත්‍රී 11.50ත් 11.55ත් අතරය.

ඒත් ආදිත්‍ය පොලිසියට පැමිණ තිබුණේ...

හරියටම රාත්‍රී 11.47ටය.

එහෙනම්... ඔහු රාත්‍රී 11.20ට දැක්කා යැයි කියූ ඒ මරණය...

මොකක්ද?

මගේ මොළය ඇතුළේ ආයෙමත් සමනල් ගැටයක් වැටෙන්නට පටන් ගත්තේ ඒ මොහොතේ සිටය.

මම මේ පරීක්ෂණය අවසන් කළා යැයි සිතා සිතින් සතුටු වූවා පමණි.

ඒත් ඊළඟ තත්පරයේ...

සියල්ල වෙනස් විය.

කේස් එක ගමන් කරමින් තිබුණේ මම කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දිශාවකටය.

මේක හරියට...මලයාලම් තිර පිටපතක් වගේ.

එකින් එක, නොසිතූ විදිහට කතාවේ ස්වරූපයම වෙනස් වෙමින් තිබුණි.

විජේසේකර නැවතත් කේන්තියෙන් ආදිත්‍ය දෙස බලා ඇසුවේය.

“ඔයා 11.20ට දැක්කේ මොකක්ද?” ආදිත්‍යගෙන් ප්‍රශ්න කළේය

ආදිත්‍යගේ මුහුණ එක්වරම වෙනස් විය.

“මම කිව්වනේ...” ඔහු මොහොතකට නිහඬ විය.

“මම දැක්කේ ඩේමියන් මැරෙන එක මිසක්... ඩේමියන්ව මරන එක නෙමෙයි.”

විජේසේකරගේ මුහුණේ තිබූ කෝපය තවත් තීව්‍ර විය.

“උඹ එතකොට දැක්කේ මිනීමැරුමක් නෙමෙයිද?” ඔහු තවත් පියවරක් ආදිත්‍ය දෙසට ළං විය.

“සිද්ධ වෙන්න කලින්... රියසල් එකක්ද?”

ආදිත්‍ය නැවතත් හිස ඔසවා බැලීය.

ඔහුගේ දෑස්වල තිබුණේ බියක්ද, නැතිනම් කිසිවකුට පැවසිය නොහැකි රහසක්දැයි වෙන්කර හඳුනාගත නොහැකි විය.

“මම දැක්කේ...” ඔහුගේ හඬ මැකී ගියේය.

මොහොතක් නිහඬව සිටි ඔහු නැවතත් කතා කළේය.

“මම දැක්කේ...”

තවත් තත්පරයක්.“ඩේමියන් මැරෙන එක.”

කාමරය පුරා නැවතත් නිහඬතාවයක් පැතිර ගියේය.

එහෙත් ඒ වචනත් සමඟ මගේ මනස තුළ එකම ප්‍රශ්නයක් දෝංකාර දෙන්නට විය.

ඩේමියන් මැරුණේ 11.50ට නම්... ආදිත්‍ය 11.20ට දැක්කේ මොකක්ද?

ඊළඟ උදෑසන පොලිස් ස්ථානයට උදා වූයේ තවත් කලබලකාරී දවසකි. පොලිස් ස්ථානයේ දුරකථනය එක දිගටම නාද වන්නට විය.

“ඔය ෆෝන් එක රිං වෙනවා...කාටවත් බැරිද ඕක ආන්සර් කරන්න?” යැයි ආවේගශීලීව සෙසු නිලධාරීන්ට බැණ වැදුණු හැටි තාමත් මට මතකය.

හදිසියේම කාන්තා පොලිස් කොස්තාපල් අචිනි මාගේ කුටියට දිව ආවාය.

“සර්!” ඇගේ මුහුණේ තිබුණේ පැහැදිලි කලබලයකි.

“හදිසි කෝල් එකක් තියෙනවා. සර්ට කියන්න දෙයක් තියෙනවලු... ඩේමියන්ගේ මරණය ගැන.”

ඇය මොහොතකට හුස්මක් ගත්තාය.

“ටිකක් එන්න පුළුවන්ද සර්?”

අචිනි යනු මෑතකදී පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු නිලධාරිනියකි. ඇයට ප්‍රමාණවත් අත්දැකීම් නොතිබූ අතර, හදිසි අවස්ථා පාලනය සම්බන්ධයෙන් ඇය සතුව තිබුණේ තවමත් ප්‍රාථමික මට්ටමේ දැනුමකි.

එහෙත් ඇගේ කලබලයටත් වඩා දෙතුන් ගුණයකින් මගේ සිත තුළ පැන නැගුණේ තවත් අර්බුදකාරී හැඟීමකි.

මම වහාම දුරකථනය වෙත ගියෙමි.

“හෙලෝ... මම Crime OIC ප්‍රනාන්දු. මේ කවුද කතා කරන්නේ?”

“සර්... මම රුවිනි. ඩොක්ටර් ඩේමියන්ගේ ක්ලිනික් එක තියෙන හොස්පිටල් එකේ Senior Receptionist.”

“ඔව්, කියන්න.”

“ඩොක්ටර් මීට සතියකට විතර කලින් ඉඳලා මට කියලා තිබ්බා, කලින් බෙහෙත් ගන්න ආව අයට හැර අලුත් අයට ඇපොයින්ට්මන්ට් දෙන්න එපා කියලා.”

“ඒකට හේතුවක් කිව්වද?”

“නෑ සර්. මම හේතුව ඇහුවත් ඩොක්ටර් මට උත්තරයක් දුන්නේ නෑ.”

ඇගේ හඬේ යම් සැකයක් තිබුණි.

“හැබැයි... ඒ සතියෙම, මට මතක විදිහට අඟහරුවාදා හවස, අවුරුදු තිහත් තිස්පහත් අතර වගේ ගැහැනු කෙනෙක් ඩොක්ටර්ව හොයාගෙන හොස්පිටල් එකට ආවා.”

“ඇපොයින්ට්මන්ට් එකක් තිබුණේ නැද්ද?”

“නෑ සර්. ඒ නිසා අපි දෙන්නා අතර වචන හුවමාරුවකුත් වුණා.”

“ඊට පස්සේ?”

“අන්තිමට ඩොක්ටර්ට කතා කරලා, එයා ආවට පස්සේ තමයි ඒක විසඳුණේ.”

මගේ අවධානය සම්පූර්ණයෙන්ම ඒ කාන්තාව වෙත යොමු විය.

“ඒ ආපු ගැහැනු කෙනාගේ නම මොකක්ද?”

“මම ඒක අහගත්තේ නෑ සර්. කලබලේ නිසා... මාත් හරි ව්‍යාකූල තත්ත්වයක හිටියේ එවෙලේ.”

මම මොහොතක් කල්පනා කළෙමි.

“හරි. අපිට CCTV දර්ශන බලන්න පුළුවන් නේද?”

ඒ මොහොතේ මට දැනුණේ, මේ කේස් එකේ වටිනාම සාක්ෂියක් අපට ලැබෙන්නට යන බවට වූ විශ්වාසයකි.

එහෙත් රුවිනිගේ ඊළඟ වචනත් සමඟ ඒ බලාපොරොත්තුවත් බිඳ වැටුණි.

“සර්... සති දෙකක ඉඳන් අපේ CCTV එක රෙපෙයාර් කරනවා. ඒ නිසා CCTV වැඩ කරන්නේ නෑ.”

නැවතත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූවාක් මෙන් මට දැනුණි.

ගිනි කන්දක් පුපුරන්නාක් මෙන් කෝපයක් මගේ ඇතුළතින් නැගෙන්නට විය.

“හරි, මිස් රුවිනි. මට පුළුවන්ද ඩොක්ටර්ගේ රෝගී ලැයිස්තුව ටිකක් බලන්න?”

“ඔව් සර්.”

“මම දැන් එන්නම් ඔතනට.” විජේසේකරත් තවත් නිලධාරියෙකුත් සමඟ මම වහාම පිටත් වුණෙමි.

පැයකට පමණ පසු අපි එම පෞද්ගලික රෝහල වෙත පැමිණියෙමු.

“මම IP ප්‍රනාන්දු. මේ මිස් රුවිනි ද?”

“ඔව් සර්.”

“මම අපේ මැනේජර් මහත්තයටත් මේ ගැන දැනුවත් කළා. සර්ලා එනවා කියලා.”

ඇය ලිපිගොනු කිහිපයක් අප ඉදිරියේ තැබුවාය.

“මම රෙකෝඩ්ස් ටික ගෙනාවා.” මම එම විස්තර ලේඛනය පිරික්සන්නට විය.

එක්තරා නමක් දැකීමත් සමඟ මගේ දෑස් එතැනම නතර විය.

“ආදිත්‍ය සෙනරත් බණ්ඩාර.”

මම වහාම හිස ඔසවා රුවිනි දෙස බැලුවෙමි.

“මිස් රුවිනි... දන්නවද මේ මනුස්සයා ගැන?”

“ආදිත්‍ය සෙනරත් බණ්ඩාර?”

“ඔව් සර්. මෙයා මාසයකට පාරක් ට්‍රීට්මන්ට්වලට එනවා ඩොක්ටර් ඩේමියන් ළඟට.”

“අන්තිමට ආවේ කවද්ද?”

මම පෙරළා ඇයගෙන් ප්‍රශ්න කළෙමි.

“මේ මාසේ දෙවැනිදා.”

මගේ හිත ඇතුළේ තවත් දොරක් විවර විය.

“හරි. ඔබතුමියට බොහොම ස්තූතියි.”

මම ලිපිගොනු දෙස බැලුවෙමි.

“මම මේ සම්පූර්ණ පොතම අරන් යනවා. හෙට ආයෙමත් හොස්පිටල් එකට ගෙනත් දෙන්නම්.”

එසේ පවසා අපි ඉක්මනින් එතැනින් පිටත් වුණෙමු.

ආදිත්‍ය අවුරුදු හතරකට කලින් ඉඳලම ඩේමියන්ගේ රෝගියෙක්.

එහෙත්...තවමත් මේ කතාවේ මට තේරුම්ගත නොහැකි හිස් තැනක් තිබුණි.

“විජේ...මේ කතාවේ මට තාමත් තේරෙන්නේ නැති හිස් තැනක් තියෙනවා.”

විජේසේකර මා දෙස බැලීය.

“මේ තියෙන සාක්ෂි එක්ක බැලුවම, ආදිත්‍ය මේ මිනීමැරුම කළා කියන්න අපිට හොඳ සාධක තියෙනවා.”

මම මොහොතක් නිහඬ වුණෙමි.

“ඒත්... මට මේ හිස් තැන් ටික සම්පූර්ණ කරගන්න අමාරුයි, විජේ.”

“අපි වැරදි පාරක යනවා වගේ හැඟීමක් මට දැනෙනවා.”

මම ආදිත්‍යගේ රෙකෝඩ්ස් දෙස නැවතත් බැලුවෙමි.

“ආදිත්‍යගේ රෙකෝඩ්ස් එක්ක බැලුවාම, මිනිහට තාවකාලික මතක අහිමිවීමේ තත්ත්වයක් තියෙනවා.”

මම මොහොතක් නිහඬව සිටියෙමි.

“ඒත්... මිනිහා පොලිසියට ඇවිත් ඇන්ට්‍රිය දාපු විදිහ නිසා මට මේකේ මොකක්දෝ අමුත්තක් දැනෙනවා.”

මම පුටුවෙන් නැගිට්ටෙමි.

“මේකේ හැටියට ආදිත්‍යට එදිනෙදා සිදුවීම්වල පිළිවෙළ මතක නෑ.”

“ඔහු ඉන්නේ හරියට... කලින් සකස් කරපු කොම්පියුටර් එකක් වගේ.”

“සර්...” විජේසේකර මැදිහත් විය.

“සමහර විට මූ බොරුවක් කරනවා ඇති.”

ඔහුගේ හඬේ තිබුණේ දැඩි විශ්වාසයකි.

“හැමදේම අමතක වෙලා වගේ රඟපානවා ඇති.”

ඔහු මොහොතකට නතර වී මා දෙස බැලීය.

“මට මුල ඉඳන්ම තේරුණා... මිනිහා තමයි මේක කරන්න ඇත්තේ කියලා.”

“විජේ...” මම ඔහු දෙස බැලුවෙමි.“අපි ඉක්මනටම තැනකට යන්න ඕනි.”

“කොහාටද සර්?”

“ඩේමියන්ගේ ගෙදර ඉස්සරහා තියෙන කඩේට.”

විජේසේකරගේ මුහුණේ සැකයක් මතුවිය.

“ඒ කඩේ CCTV එක කෙලින්ම තියෙන්නේ මහපාරට. එතනින් ඩේමියන්ගේ ගෙදර සම්පූර්ණයෙන්ම වගේ පේනවා.”

මම මොහොතකට නිහඬ වුණෙමි.

එදා රාත්‍රියේ මා දුටු දර්ශනය මගේ මතකයට නැගුණි.

“මං එදා රෑ ඒක දැක්කා.” මම විජේසේකර දෙස බැලුවෙමි.

“අපිට මොනා හරි හොයාගන්න පුළුවන්.” මම වහාම දොර දෙසට හැරුණෙමි.

“අපි යමු.”

විනාඩි පහළොවකට පමණ පසු අපි එම වෙළෙඳසැල වෙත පැමිණියෙමු.

එහි හිමිකරුවාගෙන් CCTV දර්ශන ලබාගෙන අපි ඒවා පරීක්ෂා කිරීම ආරම්භ කළෙමු.

නිරවුල් මනසකින් දර්ශන පරීක්ෂා කරමින් සිටි විජේසේකර එක්වරම කලබල විය.

“සර්... ටිකකට එන්න.” මම ඔහු අසලට ගියෙමි.

“සර්, මෙන්න මිනිහා ඉන්නවා.”

මම නැවත නැවතත් එම වීඩියෝ පටය පරීක්ෂා කළෙමි. එහෙත් විජේසේකරට වඩා දෙයක් ඒ අවස්ථාවේ මගේ දෑස් දුටුවේය.

“විජේ...” මගේ හඬ පහත් විය.

“මේක හරි පටලැවිල්ලක්.”

මම තිරයේ ඇති වීඩියෝ පටය මදකට නතර කළේය

ඇත්තටම, 11.20ට ආදිත්‍ය එතැන ඉන්නවා...ඒත් ආදිත්‍ය බලන් ඉන්න පැත්ත බලන්න...

ඔහු කාමරයක් දිහා බලාගෙන ඉන්නේ.මිනිහා ජනේලයෙන් ගේ ඇතුළ බලන්නේ නෑ.

මිනිහා බලන්නේ ඒ කාමරේ ඉන්න තවත් කෙනෙක් දිහායි…

“ඔහේට පේනවද, විජේ, මේක?”

මම ඒ දර්ශනය නතර කරමින්, තව ටිකක් විශාලනය කළෙමි.

ජනේලයේ වීදුරුවේ වූ ප්‍රතිබිම්බය තුළින් තවත් කෙනෙකුගේ ඡායාවක් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය.

ඇත්තටම... තවත් කෙනෙක්!

ඒ කාන්තාවක් බව සියයට සියයක්ම තහවුරු විය.මගේ හුස්ම නතර වන තරමට මම ව්‍යාකූලත්වයට පත්වුණෙමි.අපි දෙදෙනාම මුහුණට මුහුණ බලා ගත්තෙමු.

“සර්... අචිනි!”

ගෙවී ගිය ඒ තත්පර කිහිපයත්, මේ මිනීමැරුමත්, මගේ පොලිස් සේවා කාලය තුළ මට විසඳීමට සිදුවූ අමාරුම නඩුව බවට පත්වෙමින් තිබුණි. එකින් එක පිළිතුරු ලැබුණත්, ඒ සෑම පිළිතුරක්ම අවසානයේ වැරදි සාධකයක් බවට පත්වෙමින් තිබුණි.

ඊටත් වඩා, මගේ ළඟම සිටි මිනිසුන් ගැන මා අපරික්ෂාකාරීව ලෙංගතු වූ එක ගැන මට පුදුමාකාර වරදකාරී හැඟීමක් දැනෙන්නට විය.ඇත්තටම... ඒක වරදක්ද?

“ඉක්මනට කෝල් එකක් දෙන්න, සාජන් අපෝන්සුට.”

අචිනිට සැකයක් නොහිතෙන්න ඇයව අත්අඩංගුවට ගත යුතුය. “විජේ, අපි ඉක්මනට යමු...”

ඉතා කලබලයෙන් මමත්, විජේත් පොලිස් ස්ථානය බලා පිටත් වුණෙමු.

“අචිනි! අචිනි! තමුසේ කොහෙද ඉන්නේ? එනවා එළියට!”

බියෙන් තැතිගත් අචිනි මගේ කාමරයට පැමිණියාය.

ඇය පැමිණි විගසම විජේසේකර ඇයව වැරෙන් අල්ලා ගත්තේය.

“අචිනි, මට පිස්සු වැටෙනවා! තමුසේ කොහොමද ඩේමියන්ව මැරුවේ?”

“තමුසේ කොහොමද ඩේමියන්ව දන්නේ?”

“මට උත්තර ඕනේ, ගෑණියේ! මේ හැම ප්‍රශ්නයකටම උත්තර ඕනේ!”

“මගේ ළඟම වැඩ කරලා තියෙන්නේ මෙච්චර කපටි අම්මණ්ඩියෙක් කියලා මම දැනගෙන හිටියේ නෑනේ...”

“කතා කරනවා! නැත්නම් තමුසෙට මෙතනම වෙඩි තියලා දානවා!” යැයි පවසමින් මම මාගේ රාජකාරී රිවෝල්වරය ඇය දෙසට එල්ල කළෙමි.

“සර්... මම එදා ඩියුටි, ආදිත්‍ය කියන මනුස්සයා පොලීසියට එනකොටත් මම හිටියා එතන. මම කොහොමද සර්, ඒ ඩේමියන්ව මරන්නේ?”

“මම හිටියේ මෙතනමනේ, සර්...”යැයි අචිනි හැඬූ කඳුළින් පැවසුවාය.

විනාඩි දෙකක් හෝ තුනක් මම පුටුවට බර දී කල්පනා කළෙමි.

“මේ මොන මඟුලක්ද?” ඇත්තටම මේක නූල් බෝලයක්.

CCTV දර්ශනවල හොඳටම පේනවා ඒ අචිනිමයි කියලා. ඒත් ඇය ඒ වෙලාවේ රාජකාරියේ හිටියේ.

මටත් ඒක හොඳටම මතකයි. එතකොට... අපි දැක්කේ කවුද?

කිසිම දෙයක් තේරෙන්නේ නැති තරමට මගේ හිත සුනු විසුනු වී තිබුණි.

“විජේ...අචිනිගේ සේරම විස්තර අරගන්න.”

“අම්මා, තාත්තා... ඒ වගේම පොඩි තොරතුරක් පවා මේ වෙලාවේ අපිට වැදගත්.”

“ඉක්මනට ඒවා මගේ මේසෙ උඩ තියෙන්න ඕනේ, විජේ.”

“කිසිම වරදක් වෙන්න බෑ අපෙන්. කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ.”

“විජේ, ඉක්මන් කරන්න.”

ටික වේලාවකට පසු විජේ ලේඛනාගාරයෙන් අචිනිගේ පුද්ගලික ලිපිගොනුවත්, ඇයගේ දත්ත ඇතුළත් තොරතුරුත් මගේ මේසය මත තැබීය.

“සර්... මෙන්න තියෙනවා සර් ඉල්ලපු හැමදේම.” මම වෙනදාටත් වඩා කලබලයෙන් ඇගේ සියලුම තොරතුරු එකින් එක පරීක්ෂා කරන්නට වීමි.

සෑම කුඩා තොරතුරක්ම මේ මොහොතේ මට වැදගත් විය. ඒ නිසාම මම ඉතා පරිස්සමින් සියලු දේ කියවා බැලුවෙමි.

“අයිසේ, විජේ!, මේ කෙල්ල තමුසෙගේ ගම් පළාතෙනේ... බුලත්සිංහල, හොරණ.”

“තමුසේ නිකන්වත් මේවා දැනගෙන හිටියේ නැද්ද?”

“නෑ, සර්…අපිට අචිනි කියලා තිබුණේ අචිනි ලග්ගල, මාතලේ කියලා.”

“හරි. දැන් ඒවා කතා කරලා වැඩක් නෑ.”

“ගන්නවා බුලත්සිංහල පොලිසියේ OIC ට කෝල් එකක්. ඉක්මනට.”

“අපි දැන් එනවා කියනවා එහෙට.”

“හරි, සර්.”

මෙතැන සිට බුලත්සිංහල පොලිසියට තිබුණේ කිලෝමීටර් පහළොවක පමණ දුරකි. අපි එදින දහවල් ආහාරයවත් නොගෙන, කෙලින්ම බුලත්සිංහල පොලිසිය බලා පිටත් වුණෙමු. බුලත්සිංහල පොලිසියට පැමිණි විගස එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක සෑම් කුරේරා මහතා අපව පිළිගත්තේය.

“සර්, මම අවශ්‍ය දේවල් ලෑස්ති කරලා තියෙන්නේ. අපිට ඒ ලිපිනයට ඉක්මනට යන්න පුළුවන්.”

“අපි යමු.”

අප තිදෙනාත්, තවත් පොලිස් නිලධාරීන් පිරිසකුත් ජීප් රථයකින් අචිනිගේ ලිපිනය සඳහන් නිවස බලා පිටත් වුණෙමු.

“ගෙදර කවුද?”

සෑම් අසද්දී, හීන් කෙඳිරියක් වැනි හඬක් නගමින් වයෝවෘද්ධ කාන්තාවක් නිවසේ ඉදිරිපස දොර විවෘත කර අප දෙසට පැමිණියාය.

“අපි පොලිසියෙන්.”

“අචිනි කල්හාරී ගමගේ කියන්නේ ඔයාගේ දුවද?”

“ඇයි, සර්, එහෙම අහන්නේ? එයාට මොකක් හරි කරදරයක්ද? දෙයියනේ!”

“නෑ, නෑ... අචිනි හොඳින් ඉන්නවා.”

“අපිට දැනගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ ටික දැනගන්නයි ආවේ.”

“කරුණාකරලා අම්මා කලබල නොවී ඉන්න.”

ඇය කිහිප වතාවක්ම අප දෙස බැලුවේ ඉතා කලබලයෙන් බව මට පෙනුණි. අප සතුව සෝදිසි වරෙන්තුවක් තිබූ බැවින් නිවස පරීක්ෂා කිරීමට අපට බාධාවක් නොවීය. නිවස පුරාම තිබුණේ අතිශය අවුල් සහගත තත්ත්වයකි. මේස මත, පුටු මත, බිම... සෑම තැනකම බඩු භාණ්ඩ විසිරී තිබුණි. කිසිදු පිළිවෙළක් තිබුණේ නැත. ඇය වයෝවෘද්ධ කාන්තාවක් බැවින්, නිවස පිරිසිදු කර පිළිවෙළකට තබා ගැනීමට පවා ඇයට නොහැකි වී ඇති බව මට වැටහුණි.

එක්වරම බුලත්සිංහල පොලිසියේ කොස්තාපල්වරයකු මා ඇමතීය.

“සර්, මෙතන ඇල්බම් එකක ෆොටෝ එකක් තියෙනවා. ටිකක් බලන්න.”

මම කඩිනමින් එතැනට දිව ගොස් එම ඇල්බමය පිරික්සීමි.

මීට අවුරුදු විසිපහකට පමණ පෙර ගත් පවුලක සමූහ ඡායාරූපයකි. එහි මෙම වයෝවෘද්ධ කාන්තාවද සිටියාය. එදා ඇය මැදි විය ඉක්මවා ගිය, ප්‍රසන්න පෙනුමක් ඇති කාන්තාවක් වූවාය. ඇය අසල තරුණියකි. ඇගේ අතේ කුඩා දියණියකි. ඊට අමතරව, පියා යැයි සිතිය හැකි පුද්ගලයකුගේ අතේ තවත් දියණියකි. එම දියණියන් දෙදෙනාගේ රූප එකිනෙකට සමානය.

නැත...ඒ සමානකම සාමාන්‍ය සමානකමක් නොවේ. සැබැවින්ම ඒ නිවුන් දරුවන්ය. අතිශය සමාන නිවුන් දරුවන්ය.

ඒ අචිනිගේ සහෝදරිය බව විශ්වාස කිරීමට තරම් පැහැදිලි සාක්ෂියක් එහි තිබුණි. නමුත්...

විදුලියක් වදින්නාක් මෙන් මම එතැනම අඩපණ වූයේ, එම ඡායාරූපයේ පිටුපස සිටි පුද්ගලයා දුටු විගසය.

මගේ දෑස් ඒ රූපය මතම නතර විය.

මගේ හුස්මත් මොහොතකට නතර විය.

“විජේ...” මගේ කටහඬ වෙව්ලමින් පිටවිය.

“හැමදේම මං හිතපු විදියටම සිද්ධ වුණා, සර්…ඩේමියන්ගේ ගෙදර CCTV දර්ශන බලන්න කලින්...” ඔහු පැවසුවේ එපමණකි.

“මේ මොන කුණුහරුපයක්ද අයිසේ?” මගේ කටහඬේ තිබුණේ කෝපයකි.

“තමුසේ මොනවද මේ කියන්නේ? මට මේ මුකුත් තේරෙන්නේ නෑ...”

තමුසේ කොහොමද මේ ෆොටෝ එකේ ඉන්නේ? තමුසේ අචිනිගේ කවුද?” විනාඩි කිහිපයක නිහැඬියාවකට පසු, විජේ නැවතත් කතාව ආරම්භ කළේය.

“සර්...අදිති, අචිනි කියන්නේ මගේ නංගිගේ දුවලා දෙන්නා.” ඔහු මොහොතකට නිහඬ විය.

“අචිනි හරි දක්ෂ දරුවෙක්, සර්. ඒත් අදිති එහෙම නෑ.

අදිති, අචිනිට වඩා වෙනස් කෙනෙක්...

එයාට පොඩි කාලේ ඉඳන්ම අමතක වෙන ලෙඩක් තිබ්බා. ඒක ලොකු වෙන්න වෙන්න අඩු වෙලා, අන්තිමට නැතිම වෙලා ගියා.

අපි නොගියපු දොස්තර කෙනෙක් නෑ. නොගියපු දේවාලයක් නෑ, සර්... ඒ දරුවා වෙනුවෙන්.”

ඔහුගේ හඬ මඳක් බිඳුණේය.

“අපි ඇත්තටම සතුටු වුණා ඒක නැති වුණාම මගේ නංගි ජීවතුන් අතර හිටියා නම්... මුලින්ම සතුටු වෙන්නේ එයා.”

ඔහු මොහොතකට බිම බලාගත්තේය.

“ඒත් සර්... ඒ සතුට ගොඩක් දවස් තිබුණේ නෑ… අචිනිට වඩා විනාඩි තුනයි අදිති වැඩිමල්. දෙන්නට දෙන්නා හොඳට තේරෙනවා… අදිති නර්සින් කළා. එයාට කොළඹ ජනප්‍රිය පෞද්ගලික රෝහලක රස්සාවක් හම්බවුණා.”

විජේගේ මුහුණේ සිනහවක් මතු විය.

“කෙල්ල හරි සතුටින් හිටියා, සර්...ඔය ඩේමියන් කියන පාහරයා එතනට එන්න කලින්.”

“විජේ...” මම ඔහු දෙස කෙළින් බැලුවෙමි.

“මට කියනවා තමුසේ දැන් මොකද්ද කියන්නේ කියලා.

ඩේමියන්ගේ මරණේ එක්ක කොහොමද මේක සම්බන්ධ වෙන්නේ?”

සිනාමුසු මුහුණින් යුතුව විජේ පැවසුවේ මෙපමණකි.

“සර්ගේ ළඟම කෙනෙක්ට මං මේ කියන කතාව වුණා නම්...සර් කරන්නෙත් මං කරන දේම තමයි.”

“හරි, මට මොකද්ද වුණේ කියනවකෝ.”

“අදිති වැඩ කරන තැන ඩේමියන් වෛද්‍යවරයෙක් විදියට වැඩ කළා.

ඩේමියන් කියන්නේ සල්ලාලයෙක්, සර්…ඌ මහ තිරිසනෙක්.” ඔහුගේ හඬේ තිබුණේ වෛරයකි.

“මගේ අදිති... ඩේමියන්ගේ ගොදුරක් වුණා…ඒකිට බේරෙන්න විදියක් තිබ්බෙම නෑ, සර්. ඒකි මට මේ කිසි දෙයක් කිව්වේ නෑ.කිව්වා නම්... මීට කලින් මම පරලෝ යවනවා මිනිහව.”

විජේගේ දෑස් රතු වී තිබුණි.

“කෙල්ලට උගෙන් දරුවෙක් ලැබෙන්න හිටියා, සර්…ඌ ඒ දරුවව නැති කළා... කෙල්ලට තමන්ගේ දරුවා නැති කරපු වේදනාව දරාගන්න බැරි වුණා, ආයෙත්... ටික ටික මතකය නැති වෙන්න ගත්තා.”

මම කිසිවක් නොකියා ඔහු දෙස බලා සිටියෙමි.

“අචිනි...’’

‘’ආ... එතකොට අම්මත් මේ දේවල් දන්නවා. මේක මාර රඟපෑමක්නේ, අයිසේ?”

විජේ හිස සෙමින් වැනුවේය.

“මගේ කෙල්ලගෙ මතකය ආයෙත් ටික ටික නැති වෙන්න ගත්තා, සර්…ඒකි දවසින් දවස මරණය හොයාගෙන ගියා.”

ඔහු මොහොතකට හුස්මක් ගත්තේය.

“අචිනි පොලිසියට බැඳුණේ ඊට පස්සේ. අචිනි මුලින් මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒත් අම්මා දවසක් ඒකිට විස්තරේ කිව්වාම…

‘‘මාමේ, මගේ අක්කට වෙච්ච දේ කාටවත් වෙන්න දෙන්න බෑ ආයෙත්. අපි මේ මිනිහව සාක්ෂි එක්ක අල්ලලා පොලිසියට දෙමු, මාමේ.’’

සර් දන්නවද...ඒ වචන ටික මට ඇහුණාම මට හිතුණේ මම බෝධිසත්වයෙක් වෙන්න ඕනේ කියලා නෙමෙයි.”

ඔහුගේ හඬ තවත් බර විය.

“අම්මලාට පස්සේ කිරි එරෙන්නේ මාමලාට කියලා සර් අහලා තියෙනවද කතාවක්? ඒක ඇත්ත කියලා මට එදා තේරුණා, සර්. මටත් ඒ දරු දුක දැනුණා.”

ඔහු නැවතත් මගේ දෑස් දෙස බැලීය.

“මම ඇන්ජෙලාට මේ විස්තර සේරම කිව්වා. එයා ඒ හැමදේම අචිනිගෙන් අහලා දැනගත්තා. ඇන්ජෙලා මේකට සම්බන්ධ නෑ, සර්… ඒ ගෑණි දේවතාවියක්. යකෙක් එක්ක ජීවත් වෙච්චි දේවතාවියක්.ඒ ගෑණි ඒ ගෙදර හිරකාරියක් වගේ හිටියේ.”

මට කිසිවක් සිතාගත නොහැකි විය.

විජේ නැවතත් කතා කළේය.

“සර් දන්නවනේ... පොලිසියේ විදියට හොර වැඩක් කරන්න ලේසියි කියලා. මෙතන හොරායි, පොලිසියයි දෙකම මම. ඒ හැමදේම සර්ලා හිතනවට වඩා වෙනස් විදියට මම කළා.”

ඔහු මඳක් සිනාසුණේය.

“මම මේ ප්ලෑන් එක මගේ විදියට කරගෙන ගියා, සර්...CCTV බලනකල්. එතනින් එහාට තමයි මගේ කතාව මට පුරවගන්න බැරි වුණේ.”

මගේ හිතට එකවරම ආවේ එකම නමකි.

“එතකොට... ආදිත්‍ය?”

විජේ හිස එසවීය.

“ආදිත්‍ය කියන්නේ මේ ගේම් එකේ වැදගත්ම ඉත්තෙක්, සර්… ආදිත්‍යට ඇත්තටම තියෙන්නේ බයෙන් අවුල් වෙච්චි මතකයක්. මං මිනිහව හොයාගත්තේ අදිතිගේ උදව්වෙන්.”

“මට මේ කතාව සර්ට කියන්න එකෙක් ඕන වුණා. මම හිතන් හිටියේ ආදිත්‍ය මේ සේරම කළා කියලා ඔප්පු කරවන්න. මට ඒක අමාරු වුණේ නෑ, සර්. මිනිහා පව් තමයි… ඒත් මට විකල්පයක් තිබ්බේ නෑ.”

විජේගේ මුහුණේ තිබූ සිනහව නැති වී ගියේය.

“එදා වැස්ස දවසක් නිසා වත්ත හොඳටම මඩ වෙලා තිබුණේ. මට ආදිත්‍යගේ සපත්තු දාගෙන ඒ වත්තේ චිත්‍ර අඳින්න පුළුවන් වුණේ ඒ නිසා. එදා වේලාසනින්ම මම ඒ වැඩ ටික පරිස්සමට කරලා ආවා.ආදිත්‍යට කිසි දෙයක් මතක නැති එක... මට ලොකු උදව්වක් වුණා හැමදේකටම.”

ඔහු මඳ වේලාවක් නිහඬව සිටියේය.

“ඒත් සර්...මමත් පුදුම වුණා අන්තිමට…සර් දන්නවද ඒ මොකද්ද කියලා?”

මම හිස සෙමින් වැනුවෙමි.

“ආදිත්‍ය කියන්නේ ඩේමියන්ගේ පළවෙනි කසාදේ දරුවා. ඒ කියන්නේ... ඩේමියන්ගෙයි, නිර්මලාගෙයි දරුවා.”

“නිර්මලා කියන්නේ මම කසාද බඳින්න හිටිය කෙල්ල.එයාලගේ පවුලේ අය මට අකමැති නිසා කොළඹ දොස්තර කෙනෙක්ට බන්ඳලා දුන්නා කියලා විතරයි මම දන්නේ.අවුරුදු ගාණකින් මම නිර්මලාව හම්බවෙලා තිබ්බේ නෑ. මම එතනින් එහාට නිර්මලා ගැන හෙව්වේ නෑ. හිත හදාගෙන මම පාඩුවේ හිටියා.”

ඔහුගේ හඬෙහි වේදනාවක් තිබුණි.

“මේ වෙද්දී... නිර්මලා මැරිලා අවුරුදු දහයක්. ආදිත්‍ය නිර්මලාගේ දරුවෙක් කියලා මම දැනගත්තේ අහම්බෙන්. මම අදිතිගේ මාර්ගයෙන් ආදිත්‍ය ගැන හොයන්න ගත්ත වෙලාවක...එයාගේ ෆෝන් එකේ තිබ්බ ෆොටෝ එකකින් මම නිර්මලාව දැක්කා.ආදිත්‍ය කියන්නේ නිර්මලාගේ එකම පුතා කියලා මම එතකොට දැනගත්තා.”

විජේ සෙමින් සිනාසුණේය.

“දෛවය අපිට මේ ලෝකේ අපිට සම්බන්ධ හැම මනුස්සයෙක්ම මුණගස්සවනවා, සර්.ආදිත්‍යත් ඒ වගේ කෙනෙක්.”

ඔහුගේ දෑස්වලින් කඳුළු බිඳුවක් වැටුණි.

“මෙතන අහිමිවීම් වැඩිම එකා මම, සර්.”

මම කිසිවක් නොකියා බලා සිටියෙමි.

“එදා රෑ අදිතිව මම යැව්වා ඩේමියන්ව මුණගැහෙන්න. මිනිහා හොඳටම කලබල වුණා අදිතිව දැකලා.මම හිතපු විදියටම අදිති එක්ක මිනිහා කාමරේට ගියා… ගෙදර ඇන්ජෙලා ඉන්න නිසා.”

විජේගේ හඬ තවත් පහත් විය.

“ආදිත්‍යව මම යැව්වේ ඊට පස්සේ. මොකද... මම ඒ කාමරේ ඊට කලින් හැංගිලා හිටපු හන්දා. මාව අහු නොවෙන්න මම ආදිත්‍යට උගුලක් ඇටෙව්වා.”

ඔහු මගේ දෑස් දෙස කෙළින් බැලීය.

“ඇන්ජෙලා මට ඒ හැමදේටම උදව් කළා.සර්... පොරොන්දු වෙන්න. අනිත් කාටවත් කරදරයක් කරන්නේ නෑ කියලා.”

“ඇන්ජෙලා මට ඒ හැමදේටම උදව් කළා.සර්... ඇන්ජෙලා මගෙන් පොරොන්දුවක් ගත්තා වෙන කාටවත් කරදරයක් වෙන්න බෑ කියලා.”

මගේ ඇඟ පුරාම සීතලක් දිව ගියේය.

“ඩේමියන්ට පොර බඳින්නවත්, හිතන්නවත් වෙලාවක් දුන්නේ නෑ, සර්… මම පිටිපස්සේ ඉඳන් ඇන්නා.”

විජේ මොහොතකට නිහඬ විය.

“මිනිහා දොර ඇරගෙන එළියට ගිහින් සාලේ වැටිලා මැරුණා. මමයි, අදිතියි ජනේලෙන් පැනලා දිව්වා.”

ඔහු දිගු හුස්මක් පිට කළේය.

“ඊට පස්සේ වෙච්ච හැමදේම… සර් දන්නවා.”

කාමරය පුරා නැවතත් නිහැඬියාවක් පැතිර ගියේය.

මේ තරම් කාලයක් අපි හොයමින් සිටි මිනීමරුවා...අපිත් එක්කම මේ නඩුව විමර්ශනය කරමින් සිටීම අදටත් මතක් වෙද්දි, මට හරි පුදුමයි…

එය මගේ රාජකාරී ජීවිතය තුළ මුහුණ දෙන්න සිදු වූ, අමාරුම වගේම වඩාත්ම පැටලිලි සහගත පරීක්ෂණය බව මට ඒ වන විටත් පැහැදිලිවම දැනී තිබුණි.

නිමි.

About the Competition

The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar is a celebration of artistic expression, offering writers from around the world a platform to showcase their talents. This competition aims to inspire and recognize literary creativity in various genres, providing a unique opportunity for participants to connect with a global audience.

Thank you, Chathura Najikanga, for sharing "Entanglement - 'පටලැවිල්ල'" with us. Your participation in the Global Poetry and Creative Writing Competition 2026 enriches the literary landscape with compelling storytelling and imaginative prowess. We appreciate your contribution and look forward to your future creative endeavors.

About Hashtag Kalakar

Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

 
 
 

Recent Posts

See All
Pain! - By Afzal Akbar Ali

Written By: Afzal Akbar Ali Category: Poetry Competition: Global Poetry and Creative Writing Competition 2026 Afzal Akbar Ali presents a poignant poetry piece titled "Pain!" as part of the Global Poe

 
 
 
Paternity Diary - By Afzal Akbar Ali

Written By: Afzal Akbar Ali Category: Short Story Competition: Global Poetry and Creative Writing Competition 2026 Afzal Akbar Ali presents a deeply personal narrative through his short story, "Pater

 
 
 
One Step Away - By Liliane Kajika

Written By: Liliane kajika Category: poetry and shortstory Competition: Global Poetry and Creative Writing Competition 2026 In the Global Poetry and Creative Writing Competition 2026, Liliane Kajika

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page